À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 04 |

A+ A-

” උබ බලහත්කාරෙං ඇදගෙන ගිහිල්ලා ගෙයි හිර කරන්න නෙවෙයි බං.. උබ කැමති නැත්තං නෑ. එච්චරයි.. ”

වසන්තෙ අයියගෙ වෙරිත් හිදුනද මංදා මගෙ වචනවල සැරට. පොරට පොඩි ලැජ්ජාවක් දැනුනා වගේ.. ඒ එක්කම මූණෙ අසරණකමක් මතුවෙල ආවා.

මමත් ඉන් එහා කතා නොකර නැගිටල කුස්සිය දිහාට ගියෙ ඒකයි.

” උබෙ වෙලාව ඉවරයි. දැන් පලයං. ”

” වෙලාව ඉවර වුනහම යන්න වෙනවනෙ බං.. උබටනෙ අයිතියක් තියෙන්නෙ මං උබෙ වහල යට ඉන්න වෙලාව තීරණේ කරන්ඩ. මං ඒක දන්නවා. ”

” උබ මගුල් කතා කියවන්ඩ තියාගන්නකොටනෙ එපා වෙන්නෙ. ” මට මහ කේන්තියක් එක්ක දුකක් දැනුනා.

මුගෙ යෝජනාවට එකග නොවී මං මගෙ දරුවට කරන්නෙ මහ අවැඩක් වගේ එකක්. ඒත් මේකට එකඟ වුණත් මං කොල්ලට කරන්නෙ අවැඩක් වෙන්න බැරිද?.. මොන මිනිහද ටික කාලයක් යද්දි වෙස් පෙරලන්නෙ නැති එකෙක් කියන්න ඉන්නෙ? කවුරුත් කාල බලලවත් ඇතුලෙ රහ තේරුම් ගන්න බැරිකොට..?

මං හරි අසරණ වුනා.

වතුර කෝප්පයක් පුරවල අරගෙන හීතලට උගුර පිච්චිල යද්දිම බීගෙන බීගෙන ගියෙ මහ වැස්ස ටකරංවල වැදිල, බිඳිල පොඩිපට්ටම් වෙලා.. විසිරිල ගෙට රිංගන පින්න ගැනවත් නොහිතා.

” මං උබට බලහත්කාරකම් කරන්ඩ යන්නෑ කියල මං සැරයක් කියව්වා හංස ”

” උබ ගෙදර පලයං දැන්. ”

” ගෙදර මහ පාලුයි.. මූසලයි බං.. ”

වසන්තෙ අයියා පපුවට උඩින් ශර්ට් එක අතේ පොඩි කරගෙන කඩමාල්ලකින් වලදක් පිහිනවා වාගෙ පිහදාගෙන ගියෙ උගෙ ඇස් හිල් කරගෙන කදුලු පිරිච්චි හින්දද මංදා.

ඌ ඉන් එහා කතා කරේ නෑ. මට යනවවත් නොකියම දොට්ටබැහැල වැස්සෙම පාරට බහිනවා මම කුස්සියෙ ඉදල බලාගෙන හිටියා.

පපුවෙ මහ ගින්නක් පත්තු වෙනවා වාගෙ දැනුනෙ.. මං කෝප්පෙ තියල කමිසෙ හද හද ගිහිල්ලා බිච්චිකනුවෙ උඩ තිබ්බ යතුර අරගෙන කාමරේට ගියෙ දොරවල් දෙක දෙපැත්තෙන්ම වහල.

දැන් කාමරේ දොර වහන්න උවමනාවක් නෑ. කොල්ලා හොදටම නිදි. කට කොනකින් ඇගිල්ලත් ගහගෙන.

මම ඇගිල්ල හීන්සීරුවෙ කටින් අරගෙන මගෙ කමිසෙ පිහදාල කොට්ටෙ උඩ තිබ්බෙ පරිස්සමට. ඇහැරන්නෙ නැතුව රෝසම රෝසපාට කම්මුලේ තොල් යන්තම් ගාවන්න විතරයි මත ඕන වුණේ.

මමත් කොල්ලා ලගින් වැතිරිල උගෙ පොරෝනෙන් ටිකක් ඇගට දාගත්තා.

ඒත් මට මුලු රෑම නින්දක් අහලට ආවෙ නෑ. එක එක කාලකන්නි මතක ඇවිල්ලා හිත අස්සෙ පැලපදියං වෙලා පැල්කවි කියන්න ගද්දි… ඒ මතකවල සද්දෙ ඒ හැටි ගොරෑඩි වෙද්දි.. කොහෙ ඇහැක් පියාගන්නද?

#####

මගෙ වෙලාවට ද.. පවුකාරකමටද මංදා පහුවදා වෙසක් පෝයක්.

තන්හාවක් හින්දා නෙවෙයි. ඒත් වැඩක් නැති වෙන දවසක් කියන්නෙ මයෙ කොල්ලගෙ බඩ පුරවන්න බැරි වෙන දවසක පෙරගමන්කරුවෙක් වාගෙයි මට දැනෙන්නෙ.

උදේ ඉදලා චුරු චුරුව. මං ටිකක් දවල් වෙනකල් කොල්ලව තුරුල් කරගෙන ඇදට වෙලා හිටියෙ.. අඩුගානෙ හෙට වැඩිපුර ටාගට් දෙන්නවත් අද ඇග නිවිල ගියදෙන් කියලා.

” තාත්තී.. ”

එලියෙ ටකරං දිග ගලලා බිමට වැටෙනවා ඇහෙන වැහි වතුර දිහා මං බලාගෙන ඉද්දි කොල්ලා නැගිටල ඇදේ ඉදගන්න මයෙ තුරුලෙ දැගලුවා.

” සාදු.. ”

කොල්ලා අත දික් කරේ ජනේලෙන් එලිය දිහාට. වැස්ස ටකරං වල ඇහෙන සද්දෙට උඩින් මට නෑහුන පිරිත් මුට ඇහුන ලස්සන.. මටත් ඇහුනෙ කොල්ලා කිව්වට පස්සෙ.

හන්දියෙ කඩල දන්සලක පෝස්ටරයක් ගහල තිබ්බා. වෙලාව නවයට ඇති. ඒකෙ සද්දෙ වෙන්නැති.. නැත්තං ටකරංවලට වතුර වැටෙන සද්දෙ එක්ක ස්පීකර් කොහෙ හැරෙන්ඩ ද..

කම්මලේ බල්ලට වාගෙ මටයි කොල්ලටයි දැන් ඉබේම මේව හුරු වෙලා. මට හුරුවක් තිබ්බෙම නෑ.. කොල්ලා උපන් දා නෙවෙයි.. බඩේ ඉද්දි ඉදල මේ ටකරං අස්සෙ. උට දැන් හුරුයි.

” තත්ති සා..දු.. සාදු.. “මොනර පැටියා අත් දෙකත් එකතු කරේ ඇස් ලොකූ කරලා. මට ඒ ඇස් දැක්කම හිනැස්සුනා. මූ මෙච්චර පන්ඩිත වුනේ කෝමද?.. ඊයෙ මූ පස්ස පෙරලගන්න දගල දගල උන්නා වගෙ මට මතක. දැන් මටත් උගන්නනවා. පන්ඩිත මොනරා.

” ඔව් පුතේ… සාදු.. ”

මං කොල්ලගෙ බඩේ මුණ තද කරගෙන පවුඩර් සුවද ලොකු හුස්මක් ගත්තා.

” හ්ම්ම්.. ඇදේ චූ දාල මයෙ අම්මා. පන්ඩිතකම් කියවන්නෙ තව. ”

මං කිව්වෙ විහිලුවට.. ඒත් කොල්ලට හිතුනෙ මං බැන්නා කියල. පිරිච්ච කම්මුල් මැද තදබදේකට අහුවෙලා උන්න චුට්ටන් රෝස තොල් නොපිට හැරිල ටික්කින් කට ඇරුණා.. සද්දෙයි කදුලුයි ආවෙ ඊටත් පහුවෙලා.

” ආ.. තාත්ති ඇදේ චූ දාල මයෙ මොනර පැටියට බනිනවද රත්තරං?.. තාත්ති නල….කයි. තාත්ති සොරි.. ඉතිං. ”

” ……. ” කොල්ලා මොකුත් නොකියා හුස්ම අල්ලන්න දගලද්දි මං මහන්සිය දාල ඇදෙන් නැගිටල කොල්ලව වඩාගත්තා.

කලිසම ගලෝල හෝදන බාස්කට් එකට දාගෙනම මං එක අතින් කොල්ලව උස්සගෙන කුස්සිය දිහාට අරං ගියෙ කමිසෙ පිටින්.

” තාත්ති සොලි ඉතින්.. ” මං ගොඩාක් අනුකම්පාවෙන් කියද්දි කොල්ලා ටිකක් වාවගන්න දැගලුවා. කම්මුල් අතින් පිහදාල බිමින් තිබ්බම ගිහිල්ලා නිල් පාට චූටි පුටුවෙන් ඉදගත්තා.

” කෝත්තක් දෙන්නං මා කොල්ලට?.. ”

” කුක්කු එක්ක..? ”

” කුක්කු හදන්න ලිප අවුල්ලනකං…? ”

” කුක්කු පොගවලනෙ කෝතු කන්නෙ.. ඔයා ඒකවත් දන්නෑ ”

” පිස්සුනේ.. ” මං තනියම හිනාවුනා.. හැබෑට. කුක්කු පොගවලනෙ කෝතු කන්නෙ.. මට ඔය කියනකල් මීටර් උන්නෑ.

ඌ නෙවෙයි මාත්.. දැං පොගවන්න කුක්කු නැතුවට මොකද.. කහට කෝප්පෙ හරි පොගවල තමයි කෝත්තක් කන්නෙ. ඌත් අප්පගෙම එකා තමා.

දර කෝටු ටිකක් දාල ලිප අවුල්ලලා කේතලේ ලිපේ තියලා.. කාමරේට ගිහින් කොල්ලට හොද කලිසමකුයි ජර්සියකුයි ගෙනාවා. ගෙනැල්ල උනු වතුර ඩිංගක් අරන් කොල්ලගෙ ඇග ඩිංගක් හෝදවලා.. අන්දලා, දොරවල් දෙක ඇරල දාල .. සාලෙ තිබ්බ මෙට්ටෙ කාමරේ බිත්තියට හේත්තු කරලා ඇවිත් ගේ ටිකක් අස්පස් කරල දැම්මෙ පොඩි එකාට සෙල්ලම් බඩු ටික උස්සගෙන ඇවිත් හලාගෙන සෙල්ලං කරන්න සාලෙ මුලින් අතුගාල කාපට් එක එලල දීල.

” මායුර්.. ආ කුක්කු එක රෙඩී.. ”

කොල්ලා දුවගෙන ඇවිල්ල මගෙ කකුලෙ එල්ලුනා. තව ඩිංගෙන් කේතලේ ඇගේ හලාගන්නවා. ඉක්මනට ඒක ආපහු ලිපට අතෑරල කොල්ලව ඇදගෙන පොඩ්ඩක් පස්සට පැන්නා. වෙලාවට හැලුනෙ නෑ.

” කොල්ලො! ”

” මාමා සීයටත් තාත්ති කුක්කු ඕනලු.. ”

මොකාද මාමා සීයා කියල හිතන්න සැරසෙද්දිම වසන්තෙ අයියා කුස්සියෙ දොරකඩ හිටගෙන.

මං කොල්ලව උස්සල වඩාගත්තෙ උට රවාගෙන.

” ලැජ්ජ නැද්ද මිනිහො.. දරුවන්ට කුනුහරුප උගන්නන්නෙ?!. ”

” මං උගන්නපු කුනුහරුපයක් නෑ. ඌ තාත්ති කෝ අහද්දි කුක්කු හදනවා කියව්වා. මං ඇහුවෙ මාමා සීයට හදල දෙන්නැද්ද කියල බං. කතා කරන එකත් වැරදිද දැන්?! ”

කතාවෙ ඇත්තක් ඇති. කොල්ලා බහ තෝරන කාලෙ අම්මි කුක්කු ඉල්ලලා අඩද්දි මං කමිසෙක හිලක් හදලා ඒකෙන් සූප්පු බෝතලේ දාල කොල්ලට රවට්ටල කිරි පෙව්වෙ ඒව තාත්ති කුක්කු කියල.

දැන් තාම කොල්ලා හිතන්නෙ මං තාත්ති කුක්කු තමා කෝප්පෙකට දාල දෙන්නෙ කියල. මෙච්චර කල් ඒකෙ වරදක් නොදැනුනත් දැන් මූ පිට උන් ඉස්සරහ ඒ වචන පාවිච්චි කරනකොට මට බය හිතුනා උං ඒව වලත්ත විදියට ගනීදත් කියල.

” තේ එකක් ඕනැද?.. ”

පොර වාඩිවුනා කුස්සියෙ තිබ්බ තනි පුටුවෙ.

මෙච්චර කාලෙකට මූ දවාලෙ ගෙදරට ඇවිත් තිබ්බෙ නෑ. අද තමයි මුලින් ආවෙ.

” හදපං.. ”

” ….. ” මං රුපියල් පනහෙ බිස්කට් එකේ ඉතුරු වෙලා තිබ්බ දෙක තුන පොරගෙ ඔඩොක්කුවට දාල කහට ටිකක් පෙරුවෙ සීනි දාපු කෝප්පෙකට.

” ආ.. ” වසන්තෙ අයියා බිස්කට් පැකට් එක කොල්ලට දික් කරනවා මං ඇහැ කොනෙන් බලාන. කොල්ලා මං දිහත් බල බල ඇබරුනේ… ගන්දෝ නොගන්දෝ කියලා සිතුනි මට.. ශේප් එකේ. ” ච්.. ආ.. ගන්නවා. මාමා සීයනෙ දෙන්නෙ… ”

කොල්ලා තව ටිකක් ලැජ්ජාවෙ ඇඹරෙද්දි වසන්තෙ අයියා කොල්ලගෙ අතින් ඇදල ලගට ගත්තා. ” ලැජ්ජ වෙන්නැතුව ගන්නවා.. තාත්ති බනින්නෑ. ”

මිනිහා කොල්ලව පොඩ්ඩක් හුරතල් කලාම.. කොල්ලා ඇකිලි පැකිලි ඉදල ඒක අරන් සාලෙට දිව්වා.

” උබ කිව්වට ඒ කොල්ලට එහෙම ලෙඩක් නෑනෙ බං. ”

” ………. ”

” උබෙ හිත රිදෙන්න කිව්වෙ නෑ.. ඒත් ඌ ලෙඩෙක් නෙවෙයි බං. බෙහෙත් අහුරු ගිල්ලල ඌ නිකන් ලෙඩෙක් කරන්න එපා. ”

” බෙහෙත් දෙන හින්දා තමා ඔහොම ඉන්නෙ. නැත්තං මාව පහුරුගාලම මරලා ”

” ච්… දොස්තරලගෙ මනස්ගාත. පොඩි උං කොහොමත් පුංචි කාලෙ ඇට්ටරයි තමා. උං මේ.. හොදට ඉන්න උං ලෙඩ්ඩු කරනවා. පව් යකෝ.. ”

” උට තියෙන්නෙ ඔටිසම්.. අයියෙ. ඒක ලෙඩක් තමා. ”

” කෝ ඉතින්.. ලෙඩක් නං ඌ ඔය අපූරුවට ඉන්නෙ..?! ”

” බෙහෙත් දෙන හන්දා ඔහොම ඉන්නෙ බං. බෙහෙත් නොදී බෑ. ”

” දැන් ඕක ලොකු වෙද්දි ඇරිල යන ලෙඩක් ලු ද? ”

මට සිරිවර්ධන මිස් කියපු කතාව මතක් වෙද්දි හීල්ලුනා. මං ඔලුව දෙපැත්තට වැනුවා විතරයි.

” ආහ්.. කොල්ලගෙ කිරි එක.. ඇල් වෙලාද මංදා. ” මුගෙ ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන හින්දා කොල්ලගෙ කිරි එක තාම මේසෙ උඩ. තාම ලාවට රස්නෙ තියෙන හින්දා මං ආය රත් කරේ නෑ. දරුවට කතා කරලා චූටි පුටුවෙන් ඉන්දුවා.

එක අතකින් නැට්ට දිග රෙදි කිඹුලෙක් එල්ලගෙන, අනිකෙන් බිස්කට් එකක් බදාගෙන, කිරි උගුරක් පොවන්න යනකොට බබා බොන්න බෑ කියල ඔලුව දෙපැත්තට කරන්න ගත්තා.

මේ වසන්තෙ අයියා ඉන්න හින්දා. කොල්ලා කැමති නෑ කවුරුත් ඉන්න තැන ඉදලා කන්න බොන්න. මං ෆැක්ටරියෙදි පවා කොල්ලව අයිනකට අඩගහගෙන ගිහින් බලෙන් බලෙන් බත් කටක් දෙකක් කවාගන්නෙ. බත් කියන්නෙ කොල්ලට වහ වාගෙ. හැමදාම කඩචෝරු ගිල්ලන්නද ඒ කියල..?

” පුතේ බොන්නකො.. කෝතු පොගෝ..ල.. තත්ති කටයි මැනික කටයි.. කෝ.. ” ඒ සෙල්ලංවලට කොල්ලා සල්ලං වෙන්නෑ. ඒත් තව පැයක් වත් යයි උයන්න. දරුවා බඩගින්නෙ තියන්න බෑ එච්චර වෙලා..

” අනේ පුතේ කන්නකෝ.. තාත්ති අඩනවා හොදද.. ”

” තත්ති අඩන්න හොද නෑ.. ”

එහෙනං ඉතින් බීහංකො දරුවො මේක.

” ඒ වුනාට තාත්ති අඩනවා. බබා කුක්කු බිව්වෙ නැත්තං තාත්ති අඩනවා. ”

මගෙ මූණ බොරුවට දුකෙන් පුරවගත්තම.. බිම දණගහගෙන මොනර පැටියට කිරි එක පොව පොව ඉදපු මගෙ කම්මුල් බදාගෙන.. මගෙ කොල්ලා ලොකූ උම්මියකුත් දීල… කෝත්තත් පොගවලා මට ට්කක් කවලා කොල්ලත් කෑවා.

මං හිනාවෙද්දි ඌත් හිනාවුනා. ඒ මූණෙ හිනාව ඇති මගෙ ජීවිතේම එලිය වැටෙන්න. ඒ හිනාව නොවෙන්න අද මං වලලපු තැන්වල ගස්ගෙඩි වවුල්ලුන්ගෙ මස් වෙලා.

” ඔය කොල්ලට ලෙඩක් නෑ බං… උට ඔක්කොම තේරෙනවා. “

” එහෙනං කොච්චර එකක්ද බං අයියෙ… ”

මං අමාරුවෙන් හිනාවෙලා කොල්ලට කිරි එක පෙව්වෙ පරිස්සමට ඔලුව පිටිපස්සෙන් අල්ලගෙන. කොල්ලගෙ කොන්ඩෙ ඇදිලා.. ඒත් කපන්න ඕන්නෑ. වැටිල ඔලුව වැදුනත් කොන්ඩෙ තියෙන එක හොදයි.

” තේ බීල ලෑස්ති කරලා ගනිං කොල්ලව.. ”

” මොකටද?.. ”

” මං වීල් එක ගෙනාවා. අපි යමං අනුරාධපුර අද.. ”

” පිස්සුද?.. දැන්?! ”

” දවස් දෙකක් නිවාඩු අද ගිහිල්ලා අද රෑම එමු. ”

” ඔය බොරු වැඩවලට වියදං කරන්න මට නෑ බං මේ වෙලාවෙ. දරුවගෙ බෙහෙත් ටික ගන්නත් ඕන. කිරිපිටි එකත් තව දවස් දෙකක් තියෙයි.. ”

” යකො.. කවුද උබට වියදං කරන්න කීවෙ ?! මගෙ ත්‍රීවීල් එකේ යන්නෙ කියල කිව්වෙ මං! කන්න අද දන්සල් පාර දිගටම. ඕන්නං රෑ එහෙ ඉදල උදේට එමු. මං එහෙම වියදමක් තිබ්බොත් බලාගන්නං. ”

” අනේ මට බෑ බං. උබ ගිහින් වරෙන්. යාලුවෙක් එක්ක. ”

” පවට පින දෙන්න බෑ. වරෙන් කොල්ලට අදින්න රෙදිකෑලි දෙක තුනක් දාන්. ”

ඇත්තටම.. ජය ශ්‍රී මහ බෝධීන්නහන්සේට මං පඩුරක් අයින් කරේ වියාරා කොල්ලා ලැබෙන්න අමාරු වෙලා ඉස්පිරිතාලෙ ගෙනිච්ච දවසෙ. වියාරට සෑහෙන අමාරු වුණා. දරුවා බේරන්න බෑ කියල පවා ඩොක්ට’ස්ලා කියන තරමට. මං පඩුරක් අයින් කරඖ එක තාම සාලෙ පහන තියෙන තැන ගැටගහල.. දැන් ඒකෙ කහ රෙද්දත් ඉරිලා..

” මට නෙලුම් මල් දාහක් පූජා කරන්න බාරෙකුත් තියෙනවා බං. මේ වෙලාවෙ ඕවට වියදම් කරන්න මං ලග නෑ.. ඒත් අනේ මංදා.. ”

” මං කිව්වනෙ. මං දෙන්නං- ”

” අනේ අයියගෙ සල්ලිවල කරන පූජාවලින් නම් වැඩක් නෑ අයියෙ.. මං බාර වුනේ මගෙ දරුවා වෙනුවෙන් නෙ.. ”

වියාරා ගැන නොකිව්වට වියාරා ගැනත් හිතේ තියන් තමයි මං බාර වුණේ. එත් ඒ ගැන අදින්න මට හිත දුන්නෑ මේ වෙලාවෙ. ඒ හින්දා වහං කරගත්තා.

” හරි., සල්ලි පස්සෙ දියං. ණයක් කියල හිතපංකො. ලෑස්ති වෙලා වරෙන්. සුදු ඇදුමක් තියෙනවද? නැත්තං ඔය තියෙන එකක් දාගෙන වරෙන් ඉතින්.. බුදුන් වහන්සේට රෙද්දෙ පාට නෙවේනෙ වැදගත්.. ”

” මේ මාසෙ පඩි ගත්තම දෙන්නං එහෙනං.. ” මං එහෙම කිව්වෙ අසරණ නිසාමයි. මේ වගේ අවස්ථාවක් ලැබිල ගියොත් මිසක්.. කොල්ලා අරන් බස්වල කෝච්චිවල යන්න කියලද මම? ඒත් ඕක කවදා හිටියත් ඔප්පු කරන්න ඕන බාරයක්. දරු පැටියට සෙතක් හරි වෙන්නෙ නැතෑ.

” හරි හරි. ඒව පස්සෙ බැරියැ. මං ටවුමට දුවල එන්නං. උබ ඔක්කොම හිමීට ලෑස්ති කරගනිංකො. කොල්ලට ඕන ඒව අමතක කරගන්නෙ නැතුව. ”

මං දරුවව වඩාගෙන පොඩි නාන කාමරේට ගියෙ වීල් එක ස්ටාට් වෙන සද්දෙ අහගෙන. දරුවා වෙනුවෙන් මේ තරම් දෙයක් වත් හිගමං යදින්නැතුව කරගන්න බැරි මගෙ පිරිමිකම ගැන කලකිරුනට.. මෙහෙම හරි අවස්ථාවක් ලැබිච්චි එකට මට සතුටු හිතුනා.. රෑට හීනෙන් ගෙයින් එපිට අලි පේන්නෙ ඇත්තටම ඉන්න ගානට. දාඩිය නාගෙන නැගිටින්නෙ ඒ වෙලාවට.

පොඩි කාලෙනං අලි හීනෙන් දැක්කා කියල අම්මට කිව්වම වෙලා තියෙන බාරයක් ඔප්පු කරන්න බැරි වෙලා හින්දා එහෙම පේන්නෙ කියල අම්මා කොහොම හරි සතියක් ඇතුලෙ ඒ බාරෙ ඔප්පු කරනවා. දැන් කවුද ඉන්නෙ මට දරු පැටියා ඇරෙන්න?.. ඌ බය නැත්තෙ මං ඉන්න හින්දා වෙච්චකොට.. මං කෝමද කටක් ඇරලා මට බයයි පුතේ.. මං හීනෙන් බය වුණා පුතේ කියල උට කියන්නෙ.. ඌ මං මත විශ්වාසය තියයි ද ඉන්පස්සෙ?…

පොඩි කාලෙ ඒ පෙනුන අලි බාරෙ ඔප්පු කරාට පස්සෙ ආය කාලයකට පෙනුනෙ නෑ.. මං දන්නෑ ඒක මගෙ මනස්ගාතයක්ද කියන්න. ඒත් එහෙම හරි සැනසිල්ලෙ ඉන්න තියෙනවා නං එච්චරයි.. දරුවා වෙනුවෙන් පහුවදාට නහින්න නං අද මං නිදාගන්න ඕනා.. ඒක විතරයි මගෙ හිතේ තිබ්බෙ..

🦢 නැවත හමුවෙමු

Tags: read novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 04 |, novel À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 04 |, read À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 04 | online, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 04 | chapter, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 04 | high quality, À·Ƒà·’À¶ºà·Œà¶­À·Š À·€À·’À¶½À·À¶´À¶º | Mourning Aves | Bl | | 04 | light novel, ,

Comment

Leave a Reply

Chapter 4